Pages

Thursday, 18 April 2013

ඩොනමෝර් ආණ්ඩු ක්‍රමය

"ආණ්‌ඩුක්‍රමය දෙස බලන විට එය බසියිකලයක්‌ විලසින් පෙනෙන්න පුළුවන. බසියිකලයට නිසොල්මනේම තිබිය නොහැක. කෙළින් සිටින්නේ ගමනෙහි යෙදවීමෙන්ය. අල්ලාගෙන සිටින අතට හෝ පයට හෝ පහසුව දැනෙන්නේත්, බසියිකලය පැදගෙන යන විටය." ඉහත සඳහන් කළේ යටත් විජිත ආණ්‌ඩු කාලයේ ලංකාවට ආණ්‌ඩු ක්‍රමයක්‌ සකස්‌ කිරීම සඳහා ඩොනමෝර් සාමිවරයාගේ ප්‍රධානත්වයෙන් 1928 දී පත්කෙරුණු ඩොනමෝර් කොමිෂන් සභාවේ සාමාජිකයකුව සිටි සර් ජ්‍යෙප්‍රි බට්‌ලර් විසින් එම ආණ්‌ඩුක්‍රමයට අදාළව දක්‌වන ලද අදහසකි. නිදහස දිනාගැනීම සඳහා වෙහෙස මහන්සි වූවන්ගෙන් කෙනකු වූ ලංකවේ සීමාසහිත එක්‌සත් ප්‍රවෘත්ති පත්‍ර සමාගමේ (ලේක්‌ හවුස්‌) නිර්මාතෘ ඩී. ආර්. විජයවර්ධන මහතා වෙත සර් බට්‌ලර් එවා තිබුණු ලිපියක එසේ සඳහන් විය.

රටේ වැඩි ජනකායව සිටින සිංහලයන් හා සෙසු ජාතිකයන්ද අතර පවත්නා සම්බන්ධය, ආණ්‌ඩු ක්‍රමය සාර්ථක වීමට වැදගත් වන බවද, රාජ්‍ය පාලනය පිළිබඳ කාර්ය සාධක බලතල වලින් සිංහලයන් දුරස්‌ කරනු ලැබ සිටීම නිසා රාජ්‍ය පාලනය පිළිබඳ පුළුල් අත්දැකීමක්‌ ඔවුන් තුළ නොතිබුණු බවද එහි සඳහන්ව තිබිණි.

ඩොනමෝර් කොමිසමේ නිර්දේශ අනුව, සර්වජන ඡන්ද බලය හිමිවූ අතර කොමිෂන් සභාවේ වාර්තාව පිළිගත් අන්දම පිළිබඳව විජයවර්ධන මහතා බට්‌ලර් මහතා වෙත යෑවූ ලිපියක ඒ පිළිබඳව විස්‌තරයක්‌ කර තිබුණේ මෙලෙසිනි.
"මන්ත්‍රීවරුන් තේරීම කෙරෙහි ඇස්‌ ගසාගෙන සිටින නොයෙක්‌ දෙනා සර්වජන ඡන්ද බලය ලබා ගැනීමේ ගෞරවය හිමිකර ගන්න උත්සාහ දරන අන්දම විනෝදජනකය. මෙහි සිටින කම්කරු නියෝජිතයා කියා සිටින්නේ එය තමාගේ වැඩක්‌ය කියාය. ඊට තමන්ගේ ඇති අයිතිය කියා සිටින්න අනිත් අයත් ප්‍රමාද වන්නේ නැත.

ඩොනමෝර් කොමිසමේ වාර්තාවට එහි සාමාජිකයන් අත්සන් තබන්න ඇත්තේ 1928 ජුනි 30 වැනිදා විය හැකිය.

එසේ කියන්නේ සර් බට්‌ලර් 1928.06.30 දාතමින් විජයවර්ධන මහතා වෙත එවූ ලිපියක "අපි වාර්තාවට මේ දැන් අත්සන් තැබුවෙමු. මේ ලියමන ලැබෙන තැපෑලෙන්ම එය ලංකාවට ලැබෙන්න පුළුවන"යි සඳහන් කර තිබුණු හෙයිනි.

"ඩොනමෝර් වාර්තාව, නිර්භයව සුපරික්‍ෂාකාරීව, කල් යැමේදී ලාංකිකයන්ට තමන් කැමති ආණ්‌ඩු ක්‍රමයක්‌ සකස්‌ කර ගැනීමට ඉඩ තබා පිළිවෙළ කරන ලද්දක්‌ බවද, ඒ තුළින් ලාංකිකයන්ට සිත් වේදනා ගෙන නොදෙන පරිදි යුරෝපීය සහයෝගය ලැබෙන්න පුළුවන්බවද, එසේම එයින් විවිධ අදහස්‌ දරන මිනිසුන් බිඳී යැමක්‌ වෙනුවට එක්‌තැන් වීමෙන් සමාජ සංස්‌කරණයක්‌ සිදුවිය හැකි බවද එහි සඳහන් විය. යෝජනා ක්‍රමය ඔබ බලාපොරොත්තු තබා සිටි එකක්‌ නොවූවත් අඩු ගණනේ එය නිදහස්‌ පාර්ලිමේන්තු මන්ත්‍රණ සභාවක්‌ පිහිටුවා ගැනීමට උපයෝගී කරගත හැකි එකක්‌ වන වග ඔබට පෙනී යනු ඇතැයි මම විශ්වාස කරමි"යිද ලිපියේ සඳහන්ව තිබිණි.

ඊට පිළිතුරු වශයෙන් විජයවර්ධන මහතා යෑවූයේ "...යෝජනා ක්‍රමය කියවන්න කියවන්න එය සකස්‌ කිරීමේදී ඇතිවූ ෙච්තනා සිහි තබා ගෙනම ක්‍රියා කළහොත් විනා එයින් සිදුවිය හැක්‌කේ බොහෝදුරට ආපසු යැමක්‌ බව වඩ වඩාත් අවබෝධ වේවි" යනාදී වශයෙන් ලියූ ලිපියකි.
සර් බට්‌ලර්ද ඊට පිළිතුරක්‌ එවූ අතර එහි ලියා තිබුණු කරුණු සමහරක්‌ මෙසේය.

"ආණ්‌ඩු ක්‍රමයක්‌ යනු සාමාන්‍ය ලියවිල්ලකට වඩා වැදගත් ලියවිල්ලකි. එය ඉතිහාසයක කොටසක්‌ වනවා සේම අදහස්‌ හෙළිදරව් කරන්නකි. ඉතිහාසය වෙනස්‌ කරවන අන්දමේ අවස්‌ථාවක ලංකාව පසුවන බව මගේ අවංක විශ්වාසයයි. එය යටත් විජිතයන් අතරෙන් දේශපාලනමය දියුණුව අතින් වඩාත් දියුණු ප්‍රදේශය බවට ප්‍රශ්නයක්‌ නැත. යම් යම් සිදුවීම් හේතුවෙන් අපරදිග අදහස්‌ අවශෝෂණය කර ගැනීමේ ශක්‌තියක්‌ද සහිතය. ජාතීන් කීපයක්‌ වාසය කරන සෙසු කුඩා රටවලට සේම ලංකාවටද ලෝක ඉතිහාසයේ වැදගත් ස්‌ථානයකට පත්විය හැකිය යන්න මගේ කල්පනාවය. අපරදිගින් යහපත් දේවල් තෝරා බේරා ගෙන පෙරදිගට යෝග්‍ය ආණ්‌ඩු ක්‍රමයක්‌ සකසා ගැනීමට ලංකාව සමත් වනු ඇත යන්න මගේ විශ්වාසයය. ඔබ රටේ ප්‍රභූ පැළැන්තිය අපරදිග සංස්‌කෘතියට නැඹුරුව ඇති අතර එයින් බැහැර වීමට ඔවුන්ට හැකියාවක්‌ නැතිවා සේම වුවමනාවක්‌ද නැති සෙයකි. එංගලන්තය හැරෙන්න බ්‍රිතාන්‍ය අධිරාජ්‍යයේ අන් කිසිදු රටකවත් නොමැති අන්දමේ පාඨශාලා ක්‍රමයක්‌ ඔබ රටේ ඇත.

ඒ හා සමගම කැමැත්තක්‌ ඇත්නම් ඔබ රටවැසියන්ට අපට වඩා සමීපව මහජන ආශ්‍රයට වැටී මූලික ප්‍රශ්නවලට ළංවීමට හැකියාව ඇත.

කොමිෂන් සභාව මගින් කාරක සභා ක්‍රමයක්‌ යෝජනා කර තිබුණු අතර එවැන්නක්‌ යෝජනා කිරීමට තුඩු දුන් එක්‌ හේතුවක්‌ වශයෙන් සර් බට්‌ලර් සිය ලිපියෙහි යටකී බයිසිකල් කතාව සඳහන් කර තිබිණි.
රාජ්‍ය මන්ත්‍රණ සභාව 1930 ගණන්වල ක්‍රියාත්මක වූයේ ඩොනමෝර් ව්‍යවස්‌ථාවට අනුකූලවය.

මැතිවරණයකින් පසුව රාජ්‍ය මන්ත්‍රණ සභාවේ මන්ත්‍රීවරුන් විධායක කාරක සභා හතකට බෙදන ලද අතර කාරක සභාවක මන්ත්‍රීවරුන් අට දෙනකුට නොවැඩි හත් දෙනකුට නොඅඩු පිරිසක්‌ සිටියහ.

1. ස්‌වදේශ කටයුතු, 2. කෘෂිකර්ම හා ඉඩම්, 3. පළාත් පාලන, 4. සෞඛ්‍ය, 5. කම්කරු, කර්මාන්ත හා වාණිජ කටයුතු, 6. අධ්‍යාපන සහ 7. මහා මාර්ග හා ප්‍රසිද්ධ වැඩ එම කාරක සභා හතය.

එක්‌ එක්‌ කාරක සභාවේ අභිමතය පරිදි සභාපතිවරයකු පත්කර ගතහැකිව තිබුණු අතර එහි කාර්ය විෂයයන් භාර ඇමැතිවරයා වශයෙන් එවක අග්‍රාණ්‌ඩුකාරවරයා විසින් පත්කරන ලද්දේ ඔහුය.

කෙසේ වෙතත් එවක යටත් විජිත මහ ලේකම්වරයාව සිටි ඕම්ස්‌බිගොර් මහතාගේ හෙවත් හැලැක්‌ස්‌ සාමිගේ ඉල්ලීමකට අනුව ලංකාවට ගැලපෙන ආණ්‌ඩු ක්‍රමයක්‌ සකස්‌ කිරීම ඩොනමෝර් වාර්තාව නිකුත් කොට 10 වසරකට පමණ පසුව සිදුවිය.

ව්‍යවස්‌ථාව සකස්‌ කරන ලද්දේ එවක ආණ්‌ඩුකාර ධුරය දැරූ සර් ඇන්ඩෲ කොල්ඩිකොට්‌ගේ මැදිහත්වීම මතය. එහිදී විජයවර්ධන මහතා ආණ්‌ඩුකාරවරයාද මුණ ගැසී ආණ්‌ඩු ක්‍රමයක්‌ පිළිබඳ තමන් තුළ පවතින අදහස්‌ ඔහුට දන්වා සිටියේය.

ඩොනමෝර් ව්‍යවස්‌ථාව යටතේ රටේ පාලන කටයුතු සඳහා එලෙස ඇමැතිවරුන් හත් දෙනකුට සම්බන්ධ විධායක කමිටු හතක්‌ තිබුණත් ඉතා වැදගත් විෂයයන් පැවතුණේ ආණ්‌ඩුකාරවරයා හා රාජ්‍ය නිලධාරීන් තිදෙනකුද යටතේය.

රාජ්‍යාරක්‍ෂාව ආණ්‌ඩුකාරවරයාට භාර රාජකාරියක්‌ විය. ප්‍රධාන ලේකම්ට අමතරව මුදල් පිළිබඳ කටයුතු මුදල් ලේකම් යටතේද, නීති හා අධිකරණ කටයුතු නීති ලේකම් යටතේද ක්‍රියාත්මක වූ අතර විදේශ ප්‍රතිපත්තිය භාරව තිබුණේ ලන්ඩනයේ යටත් විජිත මහ ලේකම්වරයාටය.

එම ව්‍යවස්‌ථාවට අනුකූලව පිහිටවූ ඇමැති මණ්‌ඩලයට යටකී රාජ්‍ය නිලධාරීන් තිදෙනාත් කාරක සභා හතේ සභාපතිවරුනුත් ඇතුළත් වූහ. ඇමැති මණ්‌ඩලයේ සභාපතිවරයා වූයේ ප්‍රධාන ලේකම්වරයාය. රාජ්‍ය මන්ත්‍රණ සභාවේ ප්‍රධානියා උප සභාපතිවරයා විය.
යට කී නිලධාරීන් තිදෙනා විධායකයේ උසස්‌ම නිලධාරීන් වූහ.

ඔලිවර් ගුණතිලක මහතා මුදල් ලේකම් පදවියට පත් කෙරුණු අවස්‌ථාවේදී හැරෙන්න යටත් විජිත පාලනයේ අවසානය දක්‌වාම ඔවුන් තිදෙනා බ්‍රිතාන්‍ය ජාතිකයෝ වූහ.

නිදහස දිනා ගැනීම සඳහා මහඟු මෙහෙයක්‌ ඉටු කළ ඊ. ඩබ්ලිව්. පෙරේරා මහතා විසින් ඔවුන් හඳුන්වන ලද්දේ යටත් විජිත මහ ලේකම්වරයාගේ පොලිස්‌ කණ්‌ඩායමක්‌ වශයෙන්ය.

ස්‌වඡන්ද ආණ්‌ඩු ක්‍රමයක්‌ හා සර්වජන ඡන්දයක්‌ද ඇතුළු විවිධ කරුණු පිළිබඳව ව්‍යාකූල තත්ත්වයක්‌ පැවැති අවස්‌ථාවක ඩොනමෝර් කොමිෂමේ වාර්තාව නිකුත් කරන ලද අතර එවක බ්‍රිතාන්‍ය සාමි මන්ත්‍රී මණ්‌ඩලයේ නියෝජ්‍ය කථානායක ඩොනමෝර් සාමිද, කේම්බ්‍රි- විශ්වවිද්‍යාලය වෙනුවෙන් එරට මහජන මන්ත්‍රී මණ්‌ඩලයට පත්ව සිටි සර් ජ්‍යෙප්‍රි බට්‌ලර්ද, කම්කරු පක්‍ෂයේ මන්ත්‍රීවරයකු වූ ආචාර්ය ඩුමන් ෂිල්ස්‌ හා හොංකොංහි හිටපු ආණ්‌ඩුකාරවරයකු වූ සර් මැතිව් නාදන්ද කොමිෂමට ඇතුළත් වූහ.

ඩොනමෝර් ව්‍යවස්‌ථාව යටතේ නම් ජනවාර්ගික අර්බුදයක්‌ ඇති නොවන්න ඉඩ තිබුණු සෙයකි. "කොමියුනල් පොලිටික්‌ස්‌ ඉන් ශ්‍රී ලංකා 1931-47" (ශ්‍රී ලංකාවේ ජාතිවාදී දේශපාලනය 1931-47) නමැති ග්‍රන්ථය ලියූ ෙ-න් රසල් එහි සඳහන් කර තිබුණු දෙයකින්ම එය පැහැදිලිය. ආරම්භයේදී ඩොනමෝර් ව්‍යවස්‌ථාව ඉතා දැඩි ලෙස විවේචනය කළ දෙමළ ජනතාව, 1934 වන විට එය ඉහළින්ම අගය කළබවත් විධායක කාරක සභා ක්‍රමය, ඒ වන විට සිංහල දෙමළ අසමගියේ දැඩි ස්‌වභාවය මෙල්ල කිරීමට තුඩු දුන් බලවේගයක්‌ බවට පරිවර්තනයව පැවැති බවත් ඔහු සඳහන් කර තිබුණේ නිරීක්‍ෂණ වලින් පසුවය.

0 comments:

Post a Comment