Pages

Thursday, 18 April 2013

18 වැනි ව්‍යවස්ථා සංශෝධනය


18 වැනි ව්‍යවස්ථා සංශෝධනය ජනතා පරමාධිපත්‍යයට පූර්ණ අවස්ථාවක් දීමක්

මහාචාර්ය ගාමිණී සමරනායක
18 වැනි ව්‍යවස්ථා සංශෝධනය තුළින් මහජන පරමාධිපත්‍යය ක්‍රියාත්මක කිරීමට පූර්ණ අවස්ථාව ලබාදෙන බවත් රටක ප්‍රජාතන්ත්‍රවාදීව පත්වූ නායකත්වය ඉවත් කෙරෙනවා නම් එසේ කළ යුත්තේ මහජන ඡන්දයෙන් මිස ව්‍යවස්ථා සීමාවකින් නොවිය යුතු බවත් මහාචාර්ය ගාමිණී සමරනායක මහතා පවසයි.
සිළුමිණ සමඟ 18 වැනි ව්‍යවස්ථා සංශෝධනය පිළිබඳව සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් මහාචාර්යවරයා මේ ප්‍රකාශය කළේය. එහිදී ඇසූ ප්‍රශ්න කීපයක් හා ඒවාට මහාචාර්යවරයා දුන් පිළිතුරු මෙසේය.
* මේ ඉදිරිපත් කර ඇති ව්‍යවස්ථා සංශෝධන ගැන කතා කළොත්?
18 වැනි ව්‍යවස්ථා සංශෝධනය මේ වෙනකොට කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කොට මේ මස 8 වැනිදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතයි. මෙතැනදී මූලික වශයෙන් ජනාධිපතිවරයකුට එම ධූරය සඳහා ඉදිරිපත්වීම දෙවතාවකට සීමා කරමින් ව්‍යවස්ථාවේ තිබූ වගන්තිය ඉවත් කිරීමට තීරණය කර තිබෙනවා. අනෙක් කරුණ ජනාධිපති ධූරයට පත්වන පුද්ගලයා අනිවාර්යයෙන්ම මාස තුනකට වරක් පාර්ලිමේන්තුවට සහභාගි විය යුතුය යන වගන්තිය ඇතුළු වෙනවා. අනෙක් සංශෝධනය තමයි 17 වැනි ව්‍යවස්ථා සංශෝධනය යටතේ පත් කරන ව්‍යවස්ථා සභාවේ සාමාජික සංඛ්‍යාව 10 සිට පහ දක්වා අඩු කිරීම. මේව තමයි මූලික වශයෙන් 18 වැනි ව්‍යවස්ථා සංශෝධනය යටතේ ඉදිරිපත් කර තිබෙන්නේ.
* දේශපාලන විද්‍යාව පිළිබඳව විද්‍යාර්ථියකු ලෙස මේ කරන්න යන සංශෝධන දකින්නේ කොහොමද?
මෙතැනදි වඩා වැදගත් කරුණ තමයි ජනාධිපතිවරයකුට ජනාධිපති ධූරය සඳහා ඉදිරිපත් විය හැකි දෙවතාවක සීමාව ඉවත් කිරීම. මේ සමඟම මෙතෙක් අවිනිශ්චිතව තිබුණ විධායක ජනාධිපති ක්‍රමය ද කැබිනට් විධායක ක්‍රමය ද යන කාරණාව දැන් නිශ්චිත විසඳුමකට පැමිණ තිබෙනවා.
විධායක ජනාධිපති ක්‍රමය පිළිබඳව අදහස පළමුවෙන් ඉදිරිපත් කරනු ලැබුවේ මේ ක්‍රමය 1978 දී හඳුන්වා දුන් ජේ.ආර්.ජයවර්ධන හිටපු ජනාධිපතිතුමා විසින් 1967 වසරේදී. ඔහුම මේ අදහස යළිත් වරක් 1972 ව්‍යවස්ථා සංශෝධන සභාවට ඉදිරිපත් කළා. ජේ.ආර්.ජයවර්ධන මහතා 1977 බලයට පැමිණීමෙන් පසුව 1978 ඉදිරිපත් කළ දෙවැනි ජනරජ ව්‍යවස්ථා යටතේ ;ම් ක්‍රමය ක්‍රියාත්මක කරනු ලැබුවා.
ඔහු මේ ක්‍රමය මඟින් මූලික වශයෙන් බලාපොරොත්තු වුණේ සංවර්ධන වේගය ඉක්මන් කිරීම කියන කාරණාවයි. ඔහු විශ්වාස කළා මේ ක්‍රමය තුළ ලංකාවේ සංවර්ධනයට අත්‍යවශ්‍ය දේශපාලන ස්ථාවරභාවය ලැබෙනවා කියලා. මේ පිටුපස එක්තරා ප්‍රමාණයකට 1971 කැරැල්ලක් ඇතිවීම යන කාරණාවත් බලපාන්න ඇති කියලයි මං හිතන්නෙ. එම කාරණයෙනුත් පෙන්නුම් කළේ රටේ දේශපාලන ස්ථාවරත්වයේ ඇති වැදගත් කමයි.
ඒ වගේම පසුගිය කාලය තුළ පැවැති ජනවාර්ගික යුද්ධය සම්බන්ධයෙන් විශේෂයෙන් එය පරාජය කිරීමට ක්‍රියා කිරීම පසුපස ඇති ප්‍රධානම සාධකය ලෙස ජනාධිපතිතුමා ඉටු කළ විශාල වැඩ කොටස එම ජනාධිපතිපති ධූරය හා සම්බන්ධ බලතල හා එම ධූරයේ පැවැත්ම කියන සාධක ඉදිරිපත් කරන්න පුළුවනි.
* මේ ක්‍රමය නිතර විවේචනයට ලක්වුණා. අගමැති ක්‍රමයට යන්නත් කතා කෙරුණා..?
අගමැති ක්‍රමයෙන් විධායක ජනාධිපති ක්‍රමයට ගියත් විධායක ජනාධිපති ක්‍රමයෙන් අගමැති ක්‍රමයට හැරුණ රටක් හොයාගන්න අමාරුයි. දියුණුවෙමින් පවතින අප වැනි රටවල ශීඝ්‍රයෙන් රට සංවර්ධනය කිරීමේ වුවමනාව තිබෙනවා. මේ වුවමනාව මනාව ඉෂ්ට කර ගන්නත් අපේ රට මුහුණදී තිබෙන ජනවාර්ගික ප්‍රශ්නය විසඳාගන්නත් විධායක ජනාධිපති ක්‍රමය තිබීම වැදගත් වෙන බව කිව හැකියි. අපේ රටේ දේශපාලන පක්ෂවලත් යම්කිසි ආකාරයක ජනවාර්ගික පදනමක් දකින්න තිබෙනවා. ඒ නිසා පාර්ලිමේන්තු මැතිවරණවලදී ජනතාවගේ ඡන්දදායක චර්යාව සැලකීමේදී දකින්නට තිබෙන්නේ දේශපාලන ස්වරූපයකට වඩා බොහෝවිට ජනවාර්ගික, ආගමික හෝ ප්‍රාදේශීය ස්වරූපයක්.
නමුත් ජනාධිපතිවරණයකදී පෙන්නුම් කරන ලක්ෂණය තමයි සියලුම ජනවාර්ගිකයන් ප්‍රධාන දේශපාලන පක්ෂ හා සම්බන්ධව කටයුතු කිරීම. එසේම ඊට සමාන්තරව දේශපාලන තීන්දුවලට අවතීර්ණය වීමත් දක්නට පුළුවන්. ඒ නිසා ජනවාර්ගික ස්වරූපයට වෙනස්ව දේශපාලන වශයෙන් ඡන්දය දීම කියන කාරණාව එතැනදී වැදගත් වෙලා තියනවා. ඒ නිසා මම දකින්නේ එතන තියෙන්නේ දේශපාලන අනුකලනයක්. ඒ දේශපාලන අනුකලනය ජනවාර්ගික සමඟිය ඇති කිරීමට ප්‍රධාන වන බව සඳහන් කළ හැකියි.
* මේ කරන්න යන සංශෝධනවලින් ජනතා පරමාධිපත්‍යයට අවහිර කිරීමක් කෙරෙන බවට චෝදනා කරනවා?
නැහැ. ජනතා පරමාධිපත්‍යය අනුව තීරණ ගැනීමට ඉඩදීම තමයි මේ සංශෝධනවල පරමාර්ථය.
මෙතෙක් කල් ජනාධිපතිවරයකුගේ ධූර කාලය දෙවතාවකට සීමා කිරීම නිසා යම් ප්‍රමාණයකට මේ රටේ දියුණුවට වැඩ කරන්න පුළුවන් නායකයකුට ලැබෙන අවස්ථාව දෙවතාවකට සීමා වෙනවා. අපේ රටේ අද තත්ත්වය ගත්තත් ජාතික තලයේ නායකයන් විශාල සංඛ්‍යාවක් දකින්න නැහැ. ඒ වගේම රටක ප්‍රජාතන්ත්‍රවාදී නායකත්වය ව්‍යවස්ථාවේ සීමාවකින් නොවෙයි ඉවත් කළ යුත්තේ. ජනතාව ගේ කැමැත්ත අනුවයි ඒ තීරණය ගත යුත්තේ.
මේ නිසා මම දකින්නේ මේ ව්‍යවස්ථා සංශෝධනය යටතේ ජනතාවගේ පරමාධිපත්‍යය තවදුරටත් ක්‍රියාත්මක කිරීමට රුකුලක් ලැබී තිබෙනවා. ජනාධිපතිවරයකුට ඡන්දයට ඉදිරිපත් විය හැකි සීමාව ඉවත් කෙරෙනවා. ජනාධිපතිවරණයට ඉදිරිපත් වී පරාජයට පත්වූ පුද්ගලයකුටත් දෙවරක් නොවෙයි ඕනෑම වාර ගණනක් ඉදිරිපත් වෙන්න පුළුවන්නේ.
ඒ නිසා මම කල්පනා කරනවා මෙම තීන්දුව ව්‍යවස්ථාවට බැහැරව මහජන කැමැත්තට මෙම ප්‍රතිසංස්කරණ මඟින් ඉඩ ලබාදීම අතිශයින්ම වැදගත් කියා. එය සාධනීය ලක්ෂණයක් ලෙස මම හිතනවා. මගේ මතය රටේ නායකයා පත්කිරීමේදී ව්‍යවස්ථාව තුළින් මහජන කැමැත්තට බාධාවක් නොවිය යුතුය යන්නයි.
* 17 වැනි ව්‍යවස්ථා සංශෝධනය වෙනස් කරන්නත් මේ සංශෝධනය තුළින් යෝජනා කෙරෙනවා..?
17 වැනි ව්‍යවස්ථා සංශෝධනයෙදිත් අප දැක්ක කාරණාව තමයි ඒ මඟින් බලාපොරොත්තු වුණ කාරණා ඉටුවුණේ නැහැ කියන එක. ඒ තුළින් බලාපොරොත්තු වුණ යහපාලනය ඉටුවුණේ නැතුවා වගේම රටේ ආණ්ඩුවේ ක්‍රියාකාරිත්වය ඇන හිටියා. ඒ නිසා 17 වැනි සංශෝධනය ක්‍රියාත්මක වුණේ නැහැ. 17 සංශීධනයේ තිබුණ අඩුපාඩු දුර්වලතා මඟහරවා එය ක්‍රියාත්මක විය හැකි තත්ත්වයකට 18 වැනි සංශෝධනය මඟින් පත්කිරීමත් රටට වැදගත්. තෙමසකට වරක් ජනාධිපතිවරයා පාර්ලිමේන්තුවට සහභාගිවීම තුළින් මෙතෙක් කල් ව්‍යවස්ථාදායකය හා විධායකය අතර තිබුණ දුරස්ථභාවය ඉවත් වී සමීපස්ථ බවක් ඇතිවෙනවා.
ඒ නිසා 18 වැනි සංශෝධනය මඟින් 17 වැනි සංශෝධනයේ තිබුණ දුර්වලතා ඉවත් කර ලංකාවේ ඉදිරි සංවර්ධනය හා ජාතික සමඟිය වර්ධනය කිරීමේ තත්ත්වයකට රට ගෙනියන බව කිව හැකියි.
* මේ සංශෝධනය තුළින් ඒකාධිපති ක්‍රමයකට පාර කැපෙන බවටත් චෝදනා කරනවා නේද?
මෙතන එහෙම එකක් වෙන්නේ නැහැනේ. බ්‍රිතාන්‍යයේ තියෙන්නේ අගමැති ප්‍රමුඛ විධායක කැබිනට් ක්‍රමය. ඇමෙරිකාවේ තිබෙන්නේ විධායක ජනාධිපති ක්‍රමය. මේ ක්‍රම දෙකම මහජන ඡන්දයෙන් ක්‍රියාත්මක වන ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමයි.
විධායකයේ ජනාධිපති ධූරයක් තිබෙනවාද, ජනාධිපතිගේ ධූර කාලය දෙවතාවකට සීමා කරනවාද නැතිනම් එම සීමා ඉවත් කරනවාද යන කාරණා මත නෙවෙයි ප්‍රජාතන්ත්‍රවාදී හෝ ඒකාධිපති ක්‍රම හඳුනාගන්නේ.
පසුගිය කාලයේ ජාතික හා ජාත්‍යන්තර තලයේ දේශපාලනයේ ඇති වැදගත්කම මත යම් රටක කැබිනට් විධායකයක් බොහෝවිට ජනාධිපති විධායකයක් බවට පත්වුණ බවයි සඳහන් වන්නේ. ඒ නිසා ජනාධිපති විධායකයක් මතුපිටින් සලකා බලා පත්වීමට ඇති සීමා ඉවත් කිරීම ඒකාධිපති ක්‍රමයකට පාර කැපීමක් ලෙස හඳුන්වාදීම වැරැදි බවයි කිව යුත්තේ.
ඒකාධිපති වෙන්නේ මහජන කැමැත්ත නොසලකා හැරීමෙන් මහජන කැමැත්ත නොසලකා මහජනතාවට තමන්ගේ දේශපාලන අභිමතය බලහත්කාරයෙන් ප්‍රචණ්ඩත්වයෙන් පවරනවා නම් තමයි. එවැන්නකට මෙම ව්‍යවස්ථා සංශෝධන මඟින් ඉඟියක් හෝ නොකරන බව කියන්න පුළුවන්. මෙතන ඡන්ද ක්‍රමයට අවහිර කිරීමක් බහුතර පාලනයට අවහිර කිරීමක් නොව තීරණ ගැනීම ඡන්දදායකයාට බාර කිරීමටනෙ යෝජනා කරන්නේ.
* ඒ හැරත් කැබිනට් අනුමැතියෙන් පසු රටේ ප්‍රධාන පක්ෂ දෙකෙන් එකක් ලෙස ශ්‍රී ලංකා නිදහස් පක්ෂය මෙම සංශෝධන සඳහා පූර්ණ අනුමැතිය දී තිබෙනවා..?
ශ්‍රී ලංකා නිදහස පක්ෂය ප්‍රධාන එක්සත් ජනතා නිදහස් සන්ධානය ක්‍රියාත්මක වන්නේ සමාජ ප්‍රජාතන්ත්‍රවාදී මූලධර්මයන්ට අනුවනේ. එය මැතිවරණ තුළින් සර්වජන ඡන්ද බලය තුළින් මහජන ඡන්දය තුළින් බලයට පැමිණ එම බලය පවත්වාගෙන යන ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලන පක්ෂයක්. එවැනි පක්ෂයක් කිසිසේත් ව්‍යවස්ථාව වෙනස් කිරීම තුළින් ඒකාධිපතිත්වයකට යාමට කටයුතු කරනවා කීම පිළිගත නොහැකි කරුණක්. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ දේශපාලන ඉතිහාසය තුළින් පෙන්නුම් කරදී ඇති කාරණාව නම් එය ඒකාධිපතිත්වයට එරෙහිව ප්‍රජාතන්ත්‍රවාදයට පක්ෂපාතීව කටයුතු කරන පක්ෂයක් බවයි.
රටක ආණ්ඩු ක්‍රමයක් පිළිබඳව සලකා බැලීමේදී ඒ රටේ අවශ්‍යතා පිළිබඳව සලකා බැලිය යුතුයි. අද මේ රට විශාල විපර්යාසයකට මුහුණ දී සිටින රටක් වශයෙන් සඳහන් කරන්න පුළුවන්. අවුරුදු තිහක යුද්ධයකට මුහුණ දීමෙන් පසුව අද වෙනකොට දැවැන්ත සංවර්ධන ප්‍රයත්නයකට මුහුණ දී සිටින රටක් කියන්න පුළුවන්. ශීඝ්‍ර සංවර්ධනයක් කෙටි කාලයක් තුළ අත්කරගැනීම රටේ අනාගතයට බලපාන කාරණාවක්. ඒ සඳහා දේශපාලන ස්ථාවරත්වය පවත්වාගැනීම අත්‍යවශ්‍ය කාරණාවක්. එම තත්ත්වයන් සැලකීමේදී ජනාධිපති විධායකය ලංකාවේ විධායක ක්‍රමය වශයෙන් පවත්වා ගැනීමට හා එහි ධූර කාලය මහජන කැමැත්තට අනුව තීන්දු කිරීම ඉතාම කාලෝචිත කාරණාවක් වශයෙන් සඳහන් කරන්න පුළුවන්.
* එ.ජා.ප.ය අසූ ගණන්වල ඡන්ද නොපවත්වා ඒ වෙනුවට ජනමත විචාරණ පවත්වන්න ලාම්පු කලගෙඩි සෙල්ලම ගෙනාවා. මැතිවරණ සිතියම අකුලන්න කතා කළා. නමුත් මේ සංශෝධන මඟින් තීන්දු ගැනීම ජනතාවට බාරදෙන්න නේද කටයුතු කරන්නේ?
ඔව්. අපට මතකයි 1980 ගණන්වල හිටපු ජේ.ආර්. ජනාධිපතිවරයා 1982 පැවැත්වීමට නියමිතව තිබුණ. මහමැතිවරණය නොපවත්වා ප්‍රජාතන්ත්‍ර විරෝධීව ජනමතවිචාරණයක් පැවැත්වීමට ඉදිරිපත් කළ ප්‍රධානම තර්කය. රටේ ජාතික සංවර්ධනය සඳහා මැතිවරණ සිතියම අවුරුදු දහයකින්වත් හැකිලිය යුතු බව ඔහු කිව්වා. නමුත් මේ කරන්න යන්නේ කිසිසේත් ඡන්ද කල් දමන මගඩියක් නොව තීන්දු තීරණ ගැනීමේ අයිතිය මහජනතාව අතටම පත්කිරීමක්. මෙමඟින් තවදුරටත් මහජන කැමැත්තට වඩා වැඩි අවකාශයක් ලැබෙනවා.
හුඟදෙනෙක් අමතක කර තිබෙන කාරණාවක් නම් රටේ ජනවාර්ගික යුද්ධය නිම කිරීම සඳහා මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා කරනු ලැබූ විශිෂ්ටතම කැපකිරීම. වරක් මට හමුවූ යුගෝස්ලාවියානු ජාතිකයෙක් කීවේ ‘උඹලාට හොඳ නායකයෙක් හිටිය නිසා උඹලාගේ රට කෑලිවලට නොකඩා එක්සත්ව තබා ගැනීමට හැකිවුණා. අපේ රටට එවැනි නායකයෙක් නොසිටි නිසා අපේ රට කැබලිවලට කැඩී ගියා’ කියන කරුණයි.
මෙම කාරණාවෙන්ම අපේ ජනාධිපතිතුමා රටේ පැවැත්මට කරනු ලැබූ මහා දායකත්වය හොඳින්ම පෙන්නුම් කරනවා. එබඳු නායකයකුට මහජනතාවගේ කැමැත්තට අනුව රටේ විධායක බලයේ සිටීමට අවස්ථාව සැලැසීම ඒකාධිපතිත්වයක් ලෙස සැලකිය හැක්කේ කුමන දේශපාලන මිනුම් දඬු අනුවදැයි ප්‍රශ්න කළ යුතුයි. මේ අනුව සැලකීමේදී වර්තමාන ලංකාවේ ආර්ථික සමාජ සංවර්ධනය උදෙසා හා දේශපාලන සුරක්ෂිතභාවය සඳහාත් ඒ වගේම ජනවාර්ගික ඒකාග්‍රතාවය හා ජනවාර්ගික අනුකලනය සඳහාත් අත්‍යවශ්‍ය කාරණාවක් වශයෙන් 18 වැනි ව්‍යවස්ථා සංශෝධනය හඳුන්වා දෙන්න පුළුවන්.

0 comments:

Post a Comment