රජතුමාගේ සිට විධායක ජනාධිපති දක්වා
ඉතිහාසය පුරාම ආණ්ඩු ක්‍රමය වෙනස් වී ඇත්තේ අවශ්‍යතා අනුවයි විධායක ජනාධිපති ක්‍රමය බිහි වූයේ ද ශක්තිමත් නායකත්වයක අවශ්‍යතාවක් තිබු බැවිනි. ඒ බව මනාව ප්‍රකට වූයේ අවසන් වූ මානුෂික මෙහෙයුමේදී දේශීය සහ විදේශීය බලපෑම් වලට යට නොවන නායකත්වයක භූමිකාව ඉතා සාධනීය ලෙස ඉටුවූ බැවිනි. 18 වැනි සංශෝධනය ද එවැනිම අවශ්‍යතාවක් ඉටු කරන්නකි.
රජුගේ බලය අති ශ්‍රේෂ්ඨය. අසීමිතය... ඔහු සාමය පවත්වයි. යුද්ධ කරයි... රටවැසියාගේ ජීවිතය හා මරණය පිළිබඳ සම්පූර්ණ බලය ඔහු අත පවතී. රජයේ අණපනත් උඩරට රාජ්‍යයේ සිරිත් විරිත් සංස්ථා හා සම්ප්‍රදායන්ට අනුකූලව ක්‍රියාත්මක වෙයි. වැදගත් නව නීති සම්පාදනය හා ක්‍රියාත්මක කිරීමට පෙර ප්‍රධාන රදළයන් හා නායක භික්ෂුන් වහන්සේලා සමඟ සාකච්ඡා කිරීම සිරිතකි. රජුගේ අධිකාරය රජුගේ විවිධ නිලධාරීන් මඟින් ක්‍රියාත්මක කෙරේ.”
ජෝන් ඩොයිලි විසින් රචිත A Sketch 08 the Constitution of the Kandyan Kingdom නමැති කෘතියේ එන මේ සටහන මහාචාර්ය එම්. යූ. ද සිල්වා මහතා ශ්‍රී ලංකාවේ ආණ්ඩුක්‍රම විකාශනය හා ජාතික ව්‍යාපාරය නමැති සිය කෘතියට පරිවර්තනය කර තිබුණේ එසේය.
1815 දී කන්ද උඩරට ගිවිසුම අස්සන් කර මෙරට සම්පූර්ණයෙන් ම අධිරාජ්‍යවාදීන් යටතට පත්වීමට පෙර, මෙරට තිබූ පාලන ක්‍රමය පිළිබඳ ඩොයිලි කර ඇති මේ ප්‍රකාශය මෙරට පාලන ක්‍රමය කෙබඳු එකක්දැයි මනා ලෙස වැටහීමක් ලබා දෙන්නකි. 1815 දී උඩරට ගිවිසුම අස්සන් කිරීමත් සමඟ මෙරට පාලනය සම්පූර්ණයෙන්ම සිදුවූයේ බ්‍රිතාන්‍යය කිරීටයට වුවමනා පරිද්දෙනි. බ්‍රිතාන්‍ය කිරීට පාලන පීඩනයේ දැඩි බවට ලැබෙන ස්වදේශික පිළිතුර වූයේ 1818 උඩරට මහ කැරැල්ලයි.
1815 මාර්තු දෙවන දින උඩරට මඟුල් මඩුවේදී ආණ්ඩුකාර රොබට් බ්‍රවුන්රිග් ගේ හා මෙරට දිසාවේවරුන් 11 දෙනකු ගේ අස්සන් සහිත උඩරට ගිවිසුම මේ කැරැල්ලෙන් පසු යම් සංශෝධනයකට ලක්විය. ජෝන් ඩොයිලි ද මූලික වී උඩරට ප්‍රදේශ සඳහා ක්‍රියාත්මක කළ මේ සංශෝධිත ආණ්ඩු ක්‍රමය ඇතුළත් ප්‍රකාශනය වූයේ, 1818 නොවැම්බර් 21 ප්‍රකාශනයයි.
කෙසේ වුවද ලංකාවේ පූර්ණ බලතල ඇති ව්‍යවස්ථාදායකයා බවට පත්වූයේ බ්‍රිතාන්‍යයේ රජුය. ඔහුගේ නියෝජිතයා වූයේ ආණ්ඩුකාරවරයාය.
“එතැන් සිට එනම් 1818 සිට 1832 දක්වා බ්‍රිතාන්‍යයන් විසින් මෙරට විෂයෙහි පනවන ලද පාලන ක්‍රමය යුද්ධ ආණ්ඩු ක්‍රමයකැයි කිව යුතුය. ඔවුන්ගේ එකම බලාපොරොත්තුව වූයේ ලංකාව තම වෙළෙඳ භාණ්ඩ සඳහා අවශ්‍ය අමුද්‍රව්‍ය ලබා ගන්නා මධ්‍යස්ථානයක් හැටියටත් නිෂ්පාදිත වෙළෙඳ භාණ්ඩ අලෙවි කරන වෙළෙඳ පළක් හැටියටත් දිගටම පාලනය කරගෙන යාමය. එම සූරා කෑමේ පිළිවෙත ආරක්ෂා කරනු සඳහා දැඩි යුදමය ආණ්ඩු ක්‍රමයක් පවත්වා ගැනීමට බ්‍රිතාන්‍ය පාලකයෝ මැළි නොවූහ.”
(ලංකාවේ ආණ්ඩු ක්‍රම විකාශනය - ඩබ්ලියු. ඒ. අබේසිංහ)
කුමනාකාරයේ මර්දනකාරී පාලනයක් ගෙන ගිය ද රටේ සම්පත් සූරා ගත්ත ද, බ්‍රිතාන්‍යයන් මෙරටින් ලබන ආදායමට වඩා මෙරට පාලනය සඳහා වූ වියදම වැඩි විය. එබැවින් මේ ක්‍රමයෙන් මිදීමට අධිරාජ්‍යවාදීන්ට ඕනැ විය. කෝල්බෲක් - කැමරන් කොමිසමේ ප්‍රතිසංස්කරණ බිහිවන්නේ ඒ අවශ්‍යතාව ඉටු කිරීමටය.
දේශපාලන විචාරකයන්ට, විද්වතුන්ට අනුව මේ කොමිසමේ යෝජනාවල ආණ්ඩුක්‍රම විකාශය සඳහා බලපෑ අතිශය වැදගත් සාධක කීපයක් තිබුණි. ව්‍යවස්ථාදායකය හා විධායක මන්ත්‍රණ සභා දෙක පිහිටුවීම ඒ සාධක අතරින් මූලික ඒවා විය.
කෙසේ වුවද කෝල්බෲක් යෝජනා සියයට සියයක් පිළිගැනීමට යටත් විජිත ලේකම් කාර්යාලය සූදානම් නොවීය. විශේෂයෙන් ම ව්‍යවස්ථාදායක සභාවේ සභාපති ලෙස ආණ්ඩුකාරවරයා පත් නොවිය යුතු බවට කෝල්බෲක් කළ යෝජනා පිළිගැනීමට යටත් විජිත කාර්යාලය මැළි විය.
ඒ අනුව ඒ සභාවේ සභාපතිවරයා ලෙස ආණ්ඩුකාරවරයා ම පත්විය. එබැවින් ව්‍යවස්ථාදායක සභාවේ සාමාජිකයන්ට නිදහසේ කරුණු ඉදිරිපත් කිරීමට තිබු අවස්ථාව මඟ හැරිණි.
මේ ව්‍යවස්ථාදායක සභාව සාමාජිකයන් පහළොස් දෙනකුගෙන් සමන්විත විය. මේ සභාවේ විසුළුසහගතම දේ වන්නේ මේ සාමාජිකයන් සියලු දෙනා ආණ්ඩුකාරවරයා විසින් ම පත් කිරීමයි. එබැවින් ආණ්ඩුකාරවරයා විසින් ඉදිරිපත් කරනු ලැබු කෙටුම්පත් සියල්ල කිසිදු බාධාවකින් තොරව සම්මත විය.
කීල්බෲක් යෝජනා කළ ආකාරයටම නොවූවත් විධායක සභාව ද පත්විය. යටත් විජිත ලේකම්, හමුදා අණ දෙන නිලධාරී, නීතිපතී, භාණ්ඩාගාරික හා ගණන් පරීක්ෂක යන රජයේ උසස් නිලධාරීන්ගෙන් මේ විධායක සභාව සමන්විත විය.
සැබැවින්ම මේ සභාව “විධායක” යැයි හැඳින්වුවද කරුණු හරි හැටි පරීක්ෂා කරන විට පැහැදිලි වන්නේ එතැන ද ඇත්තේ “නාමික” බව පමණක් බවය. මන්ද යත් විධායක සභාවේ අදහස් විමසා සිටීම ආණ්ඩුකාරයාගේ යුතුකම වුවද එය පිළිගැනීම හෝ නොගැනීම ආණ්ඩුකාරවරයාගේ කැමැත්ත මත සිදුවූ නිසාය.
මෙරට වර්ග භේදයේ ස්ථාවර පදනමක ආරම්භයත් සිදුවූයේ කෝල්බෲක් ප්‍රතිසංස්කරණ හරහා යැයි කීම අතිශයෝක්තියක් හෝ මුසාවක් නොවන්නේය. ව්‍යවස්ථාදායක සභාව සඳහා පත් කළ නිල නොලත් සභිකයන් හයදෙනා මාර්ගයෙන් ඒ සඳහා මඟ විවර කිරීමට අධිරාජ්‍යවාදීහු කටයුතු කළහ. මේ නිල නොලත් සභිකයන් අතරට යුරෝපියයන් තිදෙනෙක් ද, එක් සිංහලයෙක් ද, එක් දෙමළ ජාතිකයෙක් හා බර්ගර් ජාතිකයෙක් ද පත් විණි.
මේ ව්‍යවස්ථාදායක සභාව අවුරුදු 77 ක් තිස්සේ එනම් 1910 දක්වා අඛණ්ඩව ක්‍රියාත්මක විය. එහිදී සිදුවූ එකම වෙනස උඩරට සිංහලයන් හා මුස්ලිම් ජනතාව වෙනුවෙන් නිල නොලත් මන්ත්‍රීවරු දෙදෙනකු පත් කිරීම පමණි.
“විසිවන සියවස උදාවන විට මේ රටේ ආර්ථික ජීවිතයේ විශේෂ ලක්ෂණයක් දක්නා ලදී. එනම් සවිමත් ආර්ථික පදනමක පිහිටි ස්වදේශීය ධනපති පංතියක හැඟීමය. මෙම ස්වදේශීය ධනපති පන්තිය විසින් ඉංගිරිසි උගත් මැද පන්තිය දා කරන ලද්දේ විය. එහි ප්‍රතිඵලයක් වශයෙන් මෙතෙක් යුරෝපීය ව්‍යාපාරිකයන් විසින් ගෙන ගිය ආණ්ඩුක්‍රම ප්‍රතිසංස්කරණ උද්ඝෝෂණ, ස්වදේශීය ධනපති පන්තිය අතට මාරු විය. 1907 දී පහත රට “වැවිලි කරු සංගමය” බිහිවනු දක්නා ලදී. ඉන් අනතුරුව “ජාතික සංගමය” බිහිව ආවේය. මෙම සංගම් ආණ්ඩු ක්‍රම ප්‍රතිසංස්කරණ උද්ඝෝෂණයේ ප්‍රමුඛ තැනක් ගත්හ.”
(ශ්‍රී ලංකාවේ ආණ්ඩුක්‍රම විකාශනය - ඩබ්ලියු. ඒ. අබේසිංහ)
ව්‍යවස්ථාදායක සභාවේ නිල ලත් මන්ත්‍රී සංඛ්‍යාව 11 දක්වා ද නිල නොලත් මන්ත්‍රීන් සංඛ්‍යාව 10 දක්වා ද වැඩි වූයේ මේ කියූ උද්ඝෝෂණවල ප්‍රතිඵලයක් හැටියටය.
මෙවැනි ආණ්ඩුක්‍රම ප්‍රතිසංස්කරණයක් සිදු වුවද ආණ්ඩුකාරවරයාගේ බලතල සෙලවුණේ නැත.
ඉහත ප්‍රතිසංස්කරණ මැකලම් ආණ්ඩුකාරවරයාගේ හා යටත් විජිත භාර ලේකම් කෲව් ආදිපාදවරයාගේත් අදහස් අනුව සිදුවිය. එබැවින් මේ ප්‍රතිසංස්කරණ හඳුන්වනු ලැබුවේ කෲව් - මැකලම් ප්‍රතිසංස්කරණ ලෙසය.
1910 සිදුවූ මේ වෙනස්කම් වලින් ආණ්ඩුක්‍රම ප්‍රතිසංස්කරණ ඉල්ලා උද්ඝෝෂණය කළ ස්වදේශිකයන් සෑහීමකට පත් වූයේ නැත. එබැවින් 1920 දී නැවත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ ඇති විය. ඒ අනුව ව්‍යවස්ථාදායක සභාවේ මුළු මන්ත්‍රීන් සංඛ්‍යාව 37 දක්වා වැඩිවිය. ඉන් දාහතර දෙනකු නිල ලත් පිරිස වූ අතර බහුතරය වූ විසිතුන්දෙනා නිල නොලත් සාමාජිකයන් විය. මේ වෙනස්කම්වලින් ද ආණ්ඩුකාරවරයාගේ බලතල සෙලවුණේ නැත. එමෙන්ම ස්වදේශික උද්ඝෝෂකයෝ ද සිය උද්ඝෝෂණ දිගින් දිගටම පැවැත්වූහ. එහෙත් මේ වන විට කෝල්බෲක් ප්‍රතිසංස්කරණවල අධිරාජ්‍යවාදී පරමාර්ථ ඉටුවී තිබුණි. එතෙක් එක් වී උද්ඝෝෂණය ගෙන ගිය සිංහල, දෙමළ ජනතාව දැරූ මත නිසා දෙකඩ වී සිටි අතර ඔවුන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ යෝජනා ද ලබා දුන්නේ වෙන වෙනමය.
1924 දී මැනිං ආණ්ඩු ක්‍රමය බිහි වන්නේ එහි ප්‍රතිඵලයක් හැටියටය. ඒ අනුව එම ව්‍යවස්ථාදායක සභාවේ මන්ත්‍රී සංඛ්‍යාව 49 ක් විය. මේ පිරිසෙන් දොලොස් දෙනකු නිල ලත් මන්ත්‍රීවරුන් වූ අතර ඉතිරි 37 දෙනා නිල නොලත් මන්ත්‍රීවරු විය.
මැනිං ක්‍රමය යටතේ ආණ්ඩුකාරවරයාගේ බලතල සම්බන්ධයෙන් යම් වෙනසක් සිදුවිය. එනම් ආණ්ඩුකාරවරයා ව්‍යවස්ථාදායක සභාවේ මුලසුන ගනු ලැබුවේ විශේෂ අවස්ථාවලදීය. මෙහිදී ආණ්ඩුකාරවරයා යම් කිසි විදියකින් අනුශාසකවරයකුගේ තත්ත්වයට පත් කෙරුණ ද ව්‍යවස්ථාදායක සභාවට පූර්ණ ව්‍යවස්ථාදායක බලතල ලැබුණේ නැත.
ඩොනමෝර් ආණ්ඩු ක්‍රමය බිහි වන්නේ මැනිං ආණ්ඩු ක්‍රමය බෙහෙවින් අවුල් සහගත තත්ත්වයකට පත්වූ පසුය. ඩොනමෝර් කොමිසමේ වාර්තාවට අනුව ප්‍රධාන යෝජනා පහක් විය.
සර්වජන ඡන්ද බලය ප්‍රදානය කිරීම, රාජ්‍ය මන්ත්‍රණ සභාවක් පිහිටුවීම, විධායක කාරක සභා ක්‍රමයක් ඇති කිරීම, රජයේ ප්‍රධාන කටයුතු රාජ්‍ය නිලධාරීන් තිදෙනකු යටතේ තැබීම, ආණ්ඩුකාරතුමාගේ බලතල සංශෝධනය කිරීම එම යෝජනා පහ විය.
ඩොනමෝර් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව එවකට පැවැති ව්‍යවස්ථාදායක සභාවෙන් සම්මත වූයේ වැඩි ඡන්ද දෙකකින් පමණි. එබැවින් එය ද මෙරට සාර්ථක ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් නොවන බව එයින්ම පැහැදිලි විය.
කෙටියෙන් කියතොත් මේ සියලු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන හිසරදයට කොට්ටා මාරු කිරීමක් බඳු විය. සෝල්බරි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව බිහිවන්නේ මෙවැනි වාතාවරණයක් යටතේය. ඩොමීනියන් තත්ත්වයට පෙර මඟ සැලසූ සෝල්බරි ආණ්ඩු ක්‍රමයේ සැබෑ නිර්මාපාකයා වූයේ ලංකා විශ්ව විද්‍යාලයේ උප කුලපතිව සිටි සර් අයිවර් ජෙනින්ස් ය. “ඇමැතිවරුන්ගේ කෙටුම්පත” නමැති මේ ව්‍යවස්ථාව සෝල්බරි කොමිසම විසින් සම්පූර්ණයෙන්ම පිළිගෙන තිබිණි.
මේ යෝජනා සම්බන්ධයෙන් බ්‍රිතාන්‍ය රජය සාකච්ඡා පැවැත්වූයේ ඩී. ඇස්. සේනානායක මහතා සමඟය. ඔහු එවකට රාජ්‍ය මන්ත්‍රණ සභාවේ සභානායකව සිටියේය.
කෙසේ වුවද අයිවර් ජෙනින්ස් ගේ ඇමැතිවරුන්ගේ කෙටුම්පත හෙවත් සෝල්බරි ව්‍යවස්ථාව 1945 දී රාජ්‍ය මන්ත්‍රණ සභාව විසින් සම්මත කර ගත්තේය.
මන්ත්‍රණ සභාව එය කෙතරම් පිළිගත්තේ ද කියතොත් ඊට විරුද්ධව ලැබුණේ ඡන්ද තුනක් පමණි. පක්ෂව ඡන්ද 51 ක් ලැබී තිබිණි.
මේ නව ව්‍යවස්ථාව යටතේ අලුත් පාර්ලිමේන්තුව බිහිවිය. 1947 පැවැති මැතිවරණයෙන් පසුව නව පාර්ලිමේන්තුව ආරම්භ විය.
“නව පාර්ලිමේන්තුවට බ්‍රිතාන්‍ය රජය විසින් තවත් නියෝගයක් (රාජාඥාවක්) එවනු ලැබීය. එනම් 1947 නිදහස් පණතයි. එම නිදහස් පණත ද, ලංකා පාර්ලිමේන්තුව විසින් පිළිගන්නා ලදී. ඒ අනුව 1948 පෙබරවාරි 4 වැනිදා සිට, ලංකාව බ්‍රිතාන්‍ය කිරීටයට යටතේ ඩොමීනියන් රාජ්‍යයක් බවට පත්විය.”
(“ශ්‍රී ලංකාවේ ආණ්ඩුක්‍රම විකාශනය”)
1947 සිට 1972 මැයි 22 දා තෙක් මෙරට පැවැතියේ සෝල්බරි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවයි. “සෝල්බරි ව්‍යවස්ථාව විසින් අප වෙත ප්‍රදානය කරන ලද්දේ වෙස්මිනිස්ටර් ක්‍රමයේ ආණ්ඩු ක්‍රමයක් බව ප්‍රකට කාරණයකි. එමඟින් බිහි වුණු ඩොමීනියන් රාජ්‍ය තුළ මෙරට ජනතාවට භුක්ති විඳීමට ලැබුණේ අඩාල වූ ව්‍යවස්ථාදායක නිදහසක් බව ද එපමණටම ප්‍රකට කාරණයකි.”
(“”ශ්‍රී ලංකාවේ ආණ්ඩුක්‍රම විකාශනය”)
කෙසේ වුවද මෙරටට සම්පූර්ණ නිදහස දිනාගැනීම වෙනුවෙන් 1972 වෙන තෙක් අපගේ දේශපාලන නායකයන්, විද්වතුන් මෙන්ම ජනතාව ද සිය අධිෂ්ඨානය ක්‍රියාවලියකට පෙරළූහ. අනෙක් පැත්තෙන් බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තු ආකෘතිය සම්පූර්ණයෙන්ම පාහේ මෙරට පාර්ලිමේන්තුවේ ද ක්‍රියාත්මක විය.
1948 දී මෙරට නිදහස ලැබුණ බව කියැවුණි ද පූර්ණ ව්‍යවස්ථාදායක නිදහසක් ලැබුණේ 1972 නීතිගත කළ ජනරජ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවත් සමඟය. තවත් විදියකින් කියතොත් ශ්‍රී ලංකාව නිදහස්, ස්වෛරී, ස්වාධීන ජනරජයක් බවට පත් වූයේ මේ ව්‍යවස්ථාවත් සමඟය.
“ව්‍යවස්ථාදායකය, විධායක, අධිකරණ යන ත්‍රිවිධාකාර බලය හෙවත් පරමාධිපත්‍ය ජනතාව වෙත පවරනු ලැබිණි. අගමැති, කැබිනට් මණ්ඩලය, ජාතික රාජ්‍ය සභාව බල කේන්ද්‍රය කොට ගනු ලැබිණි.”
(“දේශපාලන විද්‍යාවේ මූලිකාංග 2” ඩබ්ලියු. ජයවර්ධන)
1972 දී බිහි වූ පළමු ජන රජ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ ආයුෂ සීමා වූයේ වසර හයකට පමණි. 1977 දී පැවැති මැතිවරණයෙන් සියයට අසූවක ආසන සංඛ්‍යාවක් දිනමින් බලයට පත්වූ එජාප ආණ්ඩුවට විධායක ජනාධිපති ක්‍රමය සහිත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සම්මත කර ගැනීම කිරි කනවා වැනි වැඩක් විය. 1977 බලයට පත් එජාප ආණ්ඩුවේ අගමැති ජේ. ආර්. ජයවර්ධන මහතා විධායක ජනපති බවට පත්වන්නේ එලෙසය. ජේ. ආර්. ජයවර්ධන මහතා විසින් රචිත යුගයක පිය සටහන් නමැති සිය ස්වයං ලිඛිත චරිතාපදාන කෘතියේ විධායක ජනාධිපති ක්‍රමය පිළිබඳ සටහනක් තබා ඇත්තේ මෙලෙසය.
“ඡන්දයෙන් තෝරා ගත් විධායක ජනාධිපති ක්‍රමය 1978 සිට ක්‍රියාත්මක විය. මේ පිළිබඳ මූලික අදහස මගේය. මේ පිළිබඳ මුල්ම යෝජනා මවිසින් කරන ලද්දේ 1965 - 70 කාලය තුළ පැවැති ඩඩ්ලි සේනානායක මහතාගේ ආණ්ඩුවේ ඇමැති කෙනකු හැටියට සිටියදීය... තෝරා පත්කර ගනු ලබන ව්‍යවස්ථාදායකයට අවශ්‍ය පදයට නටන්නේ නැතිව පාර්ලිමේන්තුවෙන් පක්ෂයෙන් දෝෂාරෝපණයක් එල්ල වීම ගැන බියක් නැතිව නිවැරැදිව එහෙත් ජනපි‍්‍රය නැති තීරණ ගැනීමට ශක්තියක් ඇතිව බලයේ රැඳී සිටීමට එබඳු විධායකයකට හැකිය. අද අප මුහුණපා සිටින සංවර්ධන වන රටකට මෙය ඉතාමත් අවශ්‍ය ක්‍රමයකැයි මට සිතේ.”
ජයවර්ධන මහතා විධායක ජනාධිපති ධුරය ගැන එසේ පැවසුව ද 1972 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ නිර්මාතෘ වූ ආචාර්ය කොල්වින් ආර්. ද සිල්වා මහතා එම ක්‍රමය ගැන දැරුවේ මෙවන් අදහසකි.
“පසුගිය වසර පනහ තුළ ක්‍රමයෙන් වර්ධනය වූත් අපේ රටේ ජනතාවට හුරුපුරුදුව තිබෙන්නා වූත් ප්‍රජාතන්ත්‍රවාදී පාර්ලිමේන්තු ක්‍රමය නව ව්‍යවස්ථාවෙන් අහෝසි කෙරේ. තිබෙන ව්‍යවස්ථාව වෙනුවට මූලික වශයෙන් වෙනස් ව්‍යවස්ථාවක් ඇති කෙරේ. එය ඇමරිකානු ජනාධිපති ක්‍රමයට සම කළ හැකිය. එහෙත් ප්‍රංස ආණ්ඩු ක්‍රමයෙන් ද යම් ලක්ෂණයන් ඊට අඩංගු කර ඇත. ඒ දෙකෙහිම ඇති දුර්වලකම් මේ මිශ්‍රණයේ ඇතත් දෙකෙන් එකක හෝ තිබෙන වාසි එකක්වත් ලැබෙන්නේ නැත.”
කෙසේ හෝ වේවා එජාපය මේ ව්‍යවස්ථාව යටතේ වසර 17 ක් අඛණ්ඩව සිය පාලනය ගෙන ගියේය. මේ වසර 17 ට ම විධායකය ඔවුන්ට අගතියක් බවට පක්ෂය ප්‍රසිද්ධියේ ප්‍රකාශයන් නොකළේය.
එහෙත් 1994 දී ශ්‍රීලනිපය ප්‍රමුඛ පොදු පෙරමුණ මහ මැතිවරණයට ඉදිරිපත් වූයේ ද එතැන් පටන් සියලුම මැතිවරණවලට ඉදිරිපත් වූයේ ද මේ කියන විධායක ක්‍රමය අහෝසි කරන බවට ප්‍රකාශ කරමින්ය.
පොදු පෙරමුණු සන්ධානයෙන් පසුව මැතිවරණවලට සන්ධානගත වූ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ප්‍රධාන මැතිවරණ පොරොන්දුවක් වූයේ ද විධායක ජනාධිපති ධුර අහෝසි කිරීමය.
එහෙත් අද දක්වා ක්‍රියාත්මක නොවී ඇත්තේ ද මෙරට දේශපාලනයේ උතුරු නැඟෙනහිර යුද්ධය හා සමානව ම කථිකාවට ලක්වූ මේ විධායක ජනාධිපති ක්‍රමයය. පුදුමය යනු එහි මාතෘත්වය දරන එජාපය අද වන විට අනෙක් පක්ෂවලටත් වඩා තදබල ලෙස විධායක ජනාධිපති ක්‍රමය ප්‍රතික්ෂේප කරමින් සිටීමයි. ඉදිරියේදී සිදු කිරීමට නියමිත නව ව්‍යවස්ථා සංශෝධනයේදී විධායක ජනාධිපති ක්‍රමය අහෝසි නොකරන්නේ නම් ව්‍යවස්ථා සංශෝධනයට තම සහය නොදෙන බව ද එජාපය සෘජු ලෙසම කියා සිටී. විධායක ජනපති ධුරයේ ඉතිහාසය රටට සෙතක් කර නොමැති බවට අද චෝදනා කරන්නේ ද විපක්ෂයේ සිටින එජාපයයි.
1815 සිට මේ දක්වා ව්‍යවස්ථා සංශෝධන දෙස බලන විට පැහැදිලි වන්නේ සියලු සංශෝධනයන් සිදුව ඇත්තේ විධායකය හා ව්‍යවස්ථාදායක අතර බල තුලනයක් උදෙසා බවය. එහෙත් විධායකය කිසි විටෙක ව්‍යවස්ථාදායකයේ බලය සම කරනු නොලැබුවේය. අගමැති ප්‍රමුඛ පාර්ලිමේන්තු ක්‍රමය තුළ ද බලවතා වූයේ අගමැතිය. තරු වට කර සිටින “හඳක්” ලෙස පාර්ලිමේන්තු ක්‍රමයේ අගමැතිවරයා හැඳින්වූයේ ඒ නිසාය.
විධායක ජනපති, “හිරු” නම් පාර්ලිමේන්තු අගමැති ක්‍රමය සඳක් වීමෙන් එහි රශ්මියේ දැඩි හා සෞම්‍ය ගතියේ වෙනසක් ඇතැයි යමෙකු තර්ක කරන්නට පුළුවන. එහෙත් මේ දැඩි බව සෞම්‍ය ගතිය තීරණය වන්නේ බලය කේන්ද්‍ර වන නායකයා මත බව ද යමකු කියන්නට පුළුවන.
අනෙක් පැත්තෙන් ඒ මෘදු බව හෝ දැඩි බව තීරණය වන්නේ ද, එවැනි තත්ත්වයකට මඟ පාදන්නේ ද ජනාධිපති හෝ අගමැති ව්‍යවස්ථාදායකට වග කියන ප්‍රමාණයේ අඩු වැඩිය මත බව ද යමෙකුට හැඟෙන්නට පුළුවන.
@පුවත් පතක් ඇසුරෙණි @
0 comments:
Post a Comment