Pages

Wednesday, 5 June 2013

1962 හමුදා කුමන්ත්‍රණය

1962 ජනවාරි 27 රාත්‍රිය

අග්‍රාමාත්‍ය සිරිමාවෝ බණ්‌ඩාරනායක මැතිනියගේ රජය පෙරලා දැමීමට හමුදා සහ පොලිස්‌ නිලධාරීන් කණ්‌ඩායමක්‌ කළ කුමන්ත්‍රණය ව්‍යර්ථ විය.

2010 ජනවාරි 27 සවස

ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා ප්‍රමුඛ රජය පෙරලීමට කුමන්ත්‍රණයක්‌ සැලසුම් කර ඇතැයි රජය පැවැසීය.

1962 වසරේදී එවකට පැවැති ප්‍රජාතන්ත්‍රවාදී රජය පෙරලා දැමීමට හමුදා සහ පොලිස්‌ නිලධාරීන් කණ්‌ඩායමක්‌ දැරූ කුමන්ත්‍රණය මුළුමනින්ම ව්‍යර්ථ විය.

මෙම වසරේ ජනවාරි 26 වැනිදා සවස අගමැතිනිය සිරිමාවෝ බණ්‌ඩාරනායක මැතිනිය කොළඹ සිට කතරගම බලා යැමට නියමිත වුවත් ඇය එම සංචාරයේ යෙදුනේ නැත. බණ්‌ඩාරනායක මැතිනියගේ රජය පෙරලීමේ මෙහෙයුම නම් කර තිබුණේ ඔපරේෂන් හෝල්ඩ්පාස්‌ට්‌ යනුවෙනි. මෙකී කුමන්ත්‍රණයට අනුව අගමැතිනිය, ඇමැතිවරු, පාර්ලිමේන්තු ලේකම්, හමුදාපති, පොලිස්‌පති, රහස්‌ පොලිසියේ අධ්‍යක්‍ෂ ඇතුළු රාජ්‍ය ප්‍රධානීන් රැසක්‌ අත්අඩංගුවට ගෙන හමුදා මූලස්‌ථානයට ගෙන ඒමට නියමිත විය.

කුමන්ත්‍රණකරුවන්ගේ මුල්ම පියවර වූයේ කුමන්ත්‍රණය දියත්වී මොහොතක්‌ තුළ ශබ්ද විකාශනවලින් සමන්විත පොලිස්‌ මොටර් රථ මගින් ඇඳිරි නීතිය ප්‍රකාශයට පත් කිරීමයි. එසේම රජයේ විදුලිසංදේශ සේවාව අක්‍රිය කිරීමට ද නියමිත විය. ගුවන් විදුලි සේවාව හා වෙනත් ප්‍රධාන කේJද්‍රස්‌ථාන තම පාලනයට ගැනීමට ද ඔව්හු සැලසුම් කර තිබිණි.

මෙම කුමන්ත්‍රණකරුවෝ තම කුමන්ත්‍රණයේ සියලු කටයුතු පිළිබඳ අවසාන තීරණය ගැනීම සඳහා සාකච්ඡා කිරීමට ඒකරාශිවෙද්දී අගමැතිනි සිරිමාවෝ බණ්‌ඩාරනායක මැතිනියගේ නිවසට රාත්‍රියේම සම්ප්‍රාප්ත වූයේ ඇගේ ඥතියකු වූ ෆීලික්‌ස්‌ ඩයස්‌ බණ්‌ඩාරනායක සහ රහස්‌ පොලිසියේ අධ්‍යක්‍ෂ එස්‌. ඒ. දිසානායක හා පොලිස්‌ අධිකාරි ජෝන් ආටිගලයි.

මෙහිදී අගමැතිනිය වෙත රහස්‌ තොරතුරු එළිදක්‌වමින් මෙම ත්‍රිපුද්ගල කණ්‌ඩායම කියා සිටියේ යුද නාවික හා පොලිසියේ යම් පාර්ශ්වයන් රජය පෙරලීමට කුමන්ත්‍රණය කරන බවයි.

මේ සම්බන්ධයෙන් තමන් පොලිස්‌පති ඩබ්ලිව්. විඡේකෝන් වෙත දැනුම් දුන් නමුත් ඇතිවී තිබෙන බරපතල තත්ත්වය නිසා ආරක්‍ෂක කටයුතු භාර අමාත්‍ය ෆීලික්‌ස්‌ ඩයස්‌ බණ්‌ඩාරනායක මහතා වෙත තොරතුරු හෙළිකළ බවද පොලිස්‌ නිලධාරීන් දෙදෙනා කියා සිටියහ.

මේ නිසා කඩිනමින් ක්‍රියා කළ යුතු යෑයි ඔව්හු කියා සිටියහ.

මෙකී කුමන්ත්‍රණය පිළිබඳ තොරතුරු හෙළිකරනු ලැබූවේ කොළඹ පොලිස්‌ අධිකාරි ස්‌ටැන්ලි සේනානායකයි. පසුව ඔහු පොලිස්‌පති ධුරයට පත් විය.

කුමන්ත්‍රණකරුවන්ට වැරදුනේ ඔවුන් ස්‌ටැන්ලි සේනානායක තමන්ට පක්‍ෂපාති යෑයි විශ්වාස කළ නිසාය. එහෙත් ස්‌ටැන්ලි සේනානායක තම මාමණ්‌ඩිය වූ ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂයේ ලේකම් පී. ද එස්‌. කුලරත්න වෙත මේ බව දැනුම් දුන්නේය.

කුලරත්න මේ තොරතුරු රහස්‌ පොලිසියට දන්වා ඇත.

මෙකී තොරතුරු ඇසීමෙන් අගමැතිනිය බලවත්සේ කැලඹීමට පත් වූවාය. මේ නිසා ඇගේ උපදෙස්‌ මත යුද හමුදාපති මේජර් ජනරාල් ජෙරාඩ්

විඡේකෝන්, කොමදෝරු රාජන් කදිරගාමර්, ගුවන් කොමදෝරු ජෝන් බාකර් සහ පොලිස්‌පති ඩබ්ලිව්. විඡේකෝන් යන නිලධාරින්ට වහාම අරලියගහ මැඳුරට එන්නැයි ෆීලික්‌ස්‌ ඩයස්‌ බණ්‌ඩාරනායක මහතා නියෝග කළේය.

අරලියගහ මැඳුරේ පැවැති සාකච්ඡාවේදී පොලිස්‌ අධිකාරි ස්‌ටැන්ලි සේනානායක විසින් සියලු රහස්‌ තොරතුරු අනාවරණය කෙරිණි. මේ සමගම කුමන්ත්‍රණය සැලසුම් කළ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් යටතේ සිටි කනිෂ්ට නිලධාරීන්ව අරලියගහ මැඳුරට කැඳවූ ෆීලික්‌ස්‌ ඩයස්‌ බණ්‌ඩාරනායක මහතා රහස්‌ පොලිස්‌ නිලධාරීන් ඉදිරියේ ඔවුන්ගෙන් ප්‍රශ්න කළේය. මෙහිදී අනාවරණය වූයේ කුමන්ත්‍රණයේ ප්‍රධානියා කර්නල් පෙට්‌රික්‌ ද සේරම් බවයි. ඔහු හිටපු අගමැති එස්‌. ඩබ්ලිව්. ආර්. ඩී. බණ්‌ඩාරනායක මහතාගේ ඥතියෙකි.

මෙම කුමන්ත්‍රණයට යුද හමුදාවේ දෙවැනියා වූ කර්නල් මොරිස්‌ ද මැල්, නියෝජ්‍ය පොලිස්‌පති ඩී. සී. දිසානායක (රහස්‌ පොලිස්‌ අධ්‍යක්‍ෂ එස්‌. ඒ. දිසානායකගේ සොහොයුරා) නියෝජ්‍ය පොලිස්‌පති සිඩ්නි ද සොයිසා සහ ඉඩම් සංවර්ධන අධ්‍යක්‍ෂ ඩග්ලස්‌ ලියනගේ යන පිරිස සම්බන්ධවී ඇතැයි හෙළිවිය.

මේ වන විට පොලිස්‌ මූලස්‌ථානයේ රාත්‍රි කටයුතු භාර ප්‍රධාන සහකාර පොලිස්‌ අධිකාරි වී. ටී. ඩික්‌මන් ඉවත් කර කුමන්ත්‍රණයට සම්බන්ධ නිලධාරියකු අනුයුක්‌ත කර තිබූ බවද අරලියගහ මැඳුරට වාර්තා විය.

මෙම අවස්‌ථාවේ අරලියගහ මැඳුරේ ආරක්‍ෂාව සඳහා නාවික හමුදාවේ අභ්‍යන්තර ආරක්‍ෂක බලමුළුව යොදවනු ලැබීය. ඒ සමගම දිසානායක කර්නල් මොරිස්‌ ද මැල්, කොළඹ සහකාර පොලිස්‌ අධිකාරි බෙඩි ජෝන් පිල්ලේ, රියර් අද්මිරාල් රොයිස්‌ ද මැල් ඇතුළු කුමන්ත්‍රණකරුවන් 31 ක්‌ අත්අඩංගුවට ගන්නා ලෙස අගමැතිනිය සිරිමාවෝ බණ්‌ඩාරනායක මැතිනිය නියෝග කළාය.

රජය පෙරලා දැමීමට උත්සාහ කළ අයගෙන් 26 ක්‌ ක්‍රිස්‌තියානි ලබ්ධිකයන්ය. 12 සිංහලයන්, ද්‍රවිඩයන් හයක්‌ හා බර්ගර් ජාතිකයන් හයක්‌ ද ඒ අතර විය.

කුමන්ත්‍රණකරුවන්ට එරෙහිව පැවැති නඩු විභාගයේදී ජී. ජී. පොන්නම්බලම් එම්. ඩබ්ලිව්. ජයවර්ධන සහ එස්‌. ඡේ. කදිරගාමර් වැනි ප්‍රසිද්ධ නීතිවේදීහු පෙනී සිටියහ.

මෙහිදී කර්නල් එස්‌. ඩී. ද සේරම් සියලු වගකීම් තමා දරණ බව පවසමින් පාපොච්චාරණයක්‌ කරනු ලැබීය.

රජය මෙම කුමන්ත්‍රණකරුවන්ට එරෙහිව ක්‍රියාකිරීම සඳහා 1962 වසරේ අපරාධ නීති විශේෂ විධිවිධාන පනත නමින් නව පනතක්‌ ගෙන ඒමට ක්‍රියා කළේය.

එහෙත් ව්‍යවස්‌ථානුකූලව එකී පනත මත ක්‍රියාකිරීමට නොහැකි යෑයි විනිසුරුවරුන් කියා සිටියහ. 1963 ජුනි 3 වැනිදා සිට දින 324 ක්‌ තිස්‌සේ මෙකී කුමන්ත්‍රණකරුවන්ට එරෙහිව නඩු විභාග පැවැත්වූහ. මෙහිදී කර්නල් එස්‌. සී. ද සේරම්, කර්නල් මොරිස්‌ ද මැල්, රියර් අද්මිරාල් රෝයිස්‌ ද මෙල්, සී. සී. දිසානායක සහ ඩග්ලස්‌ ලියනගේ ඇතුළු 11 ක්‌ වරදකරුවන්වී දස වසරක සිර දඬුවමක්‌ හා දේපල රාජසන්තක කිරීමටද නියම විය.

මෙම නඩු විභාගයේදී ඇතැම් සාක්‍ෂිකරුවන් පැවැසුවේ හිටපු අගමැතිවරුන්ගෙන් යුත් නව රජයක්‌ පිහිටුවීමට කුමන්ත්‍රණකරුවන් උත්සාහ කළ බවයි. මෙම චෝදනාව ආණ්‌ඩුකාර ඔලිවර් ගුණතිලකට ද එල්ල විය. ඔහු ආණ්‌ඩුකාර ධුරයෙන් ඉල්ලා අස්‌වී බ්‍රිතාන්‍යයේ පදිංචියට ගියේය.

1962 ජනවාරි 27 වැනිදා රාත්‍රියේ කුමන්ත්‍රණය දියත් කිරීමට නියමිතව සිටි හමුදා නිලධාරීන් පිරිස මෙසේය.

යුද හමුදාව

කර්නල් එස්‌. සී. ද සේරම් - අණදෙන නිලධාරි කාලතුවක්‌කු බලකාය, කර්නල් මොරිස්‌ ද මැල් - අණදෙන නිලධාරි - ස්‌වේච්ඡා බලකාය, රියර් අද්මිරාල් රොයිස්‌ද මෙල් (විශ්‍රාමික), ලුතිනන් කර්නල් විල්මට්‌ එබ්‍රහම්ස්‌ය. - අණදෙන නිලධාරි 3 වැනි කාලතුවක්‌කු ඒකකය., ලුතිනන් කර්නල් ඡේ. එච්. වී. අල්විස්‌ අණදෙන නිලධාරි ස්‌වේච්ඡා ඉංජිනේරු බලකාය, ලුතිනන් කර්නල් බැසිල් ඡේසුදාසන් - අණදෙන නිලධාරි සංඥ බලකාය., ලුතිනන් කර්නල් නොයෙල් මතායස්‌ අණදෙන නිලධාරි විදුලි හා යාන්ත්‍රික ඒකකය., මේජර් බී. අයි. ලොයලා කාලතුවක්‌කු ඒකකය, මේජර් ඩබ්ලිව්. ජි. වයිට්‌ කාලතුවක්‌කු ඒකකය, මේජර් වික්‌ටර් ජෝශප් කාර්යභාර නිලධාරි සන්නද්ධ බලකාය, කපිතන් ඡේ. ඒ. ආර්. පිලිප්ස්‌ ස්‌වේච්ඡා බලකාය, කපිතන් නිමල් ජයකොඩි කාලතුවක්‌කු ඒකකය, කපිතන් ටෝනි ඇන්ගි කාලතුවක්‌කු ඒකකය, කපිතන් දොන් වීරසිංහ කාලතුවක්‌කු ඒකකය.

පොලිසිය

සී. සී. එංගල් දිසානායක, නියෝජ්‍ය පොලිස්‌පති, සිඩ්නි ද සොයිසා හිටපු නියෝජ්‍ය පොලිස්‌පති, වී. ඊ. පෙරේරා පොලිස්‌ අධිකාරි, ඩබ්ලිව්. ජෙබනායම්, පොලිස්‌ අධිකාරි, කොලින් වාස්‌ ඩෙෆ් රයිසන් සහකාර පොලිස්‌ අධිකාරි, ටෙඩි ජෝන්පිල්ලේ සහකාර පොලිස්‌ අධිකාරි රථවාහන, ටෙරි පී. විඡේසිංහ සහකාර පොලිස්‌ අධිකාරි, ලයනල් ජිරසිංහ සහකාර පොලිස්‌ අධිකාරි

සිවිල් අංශය

ඩග්ලස්‌ ලියනගේ අධ්‍යක්‍ෂක ඉඩම් සංවර්ධන,

කෙසේ වෙතත් වරදකරුවන් වූ පිරිස තමන්ට පැනවූ දඬුවමට එරෙහිව බ්‍රිතාන්‍යයේ ප්‍රිවි කවුන්සිලය වෙත අභියාචනා කළහ.

එහිදී සියල්ල නිදහස්‌ විය. පසු කලෙක පැවැති එක්‌සත් ජාතික පක්‍ෂ රජයක්‌ යටතේ රාජ්‍ය අමාත්‍යංශයේ ලේකම්වරයකු වූයේ ඩග්ලස්‌ ලියනගේය.

0 comments:

Post a Comment